1950 අංක 9 දරන ඉඩම් අත්පත්කර ගැනීමේ පනත යටතේ අනිවාර්යයෙන් අත්පත් කර ගන්නා ලද දේපල තක්‌සේරු කිරීම.
1950 අංක 09 දරන ඉඩම් අත්පත් කරගැනීමේ පනත මඟින්, පොදු කාර්යයන් සඳහා ඉඩම් සහ පරවළුතා අත්පත් කර ගැනීමට ද ඊට සම්බන්ධිත හා ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සලස්වා තිබේ. පළාත් පාලන ආයතනය වෙත සහ වෙනත් රජයේ සංස්ථා වෙත ඉඩම් පවරාගනු ලැබීමට ද විධිවිධාන සලස්වා ඇති අතර, අනිවාර්ය මිලදී ගැනීම් සහ වන්දි ගෙවීම් පිළිබඳ ඉතා වැදගත් ව්‍යවස්ථාවකි. 1950 ඉඩම් අත්පත්කර ගැනීමේ පනත මූලික වශයෙන් ඉංග්‍රීසීන්ගේ ඉඩම් වගන්ති (Land Clauses) පනත ආදර්ශකයක් ලෙස ගෙන සකස් කරන ලද්දකි. 1919 වර්ෂයේ ඉඩම් අත්පත් කර ගැනීමේ පනත ද, 1946 වර්ෂයේ ඉඩම් අත්පත්කර ගැනීමට බලය දීමේ පටිපාටිය පනත (Acquisition of land Authorization Procedure 1946) සහ 1964 අංක 28 දරන පනතින් සංශෝධිත ඉඩම් අත්පත්කර ගැනීමේ පනත ද, යන පනත් දැනට බලාත්මකව පවතින පැරණිතම ඉඩම් අත්පත් කරගැනීමේ පනත් වේ.
1950 ඉඩම් අත්පත්කර ගැනීමේ පනත යටතේ තක්‌සේරුකරණය ප්‍රකාරව ඇති වැදගත් ලක්ෂණ පහත දැක්වේ.
2 වන වගන්තිය :
යම් ප්‍රදේශයක ඉඩමක් පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය වන්නේයැයි අමාත්‍යවරයා තීරණය කිරීමේදී එය ක්‍රියාත්මක කිරීම සඳහා අත්පත්කර ගැනීමේ නිලධාරියා විසින් 2 වන වගන්තිය යටතේ දැන්වීමක් ප්‍රසිද්ධ කරන අතර එවැනි ඉඩමක් සෙවීම සඳහා ඒ අනුව බලයලත් නිලධාරීන්ට අවසර දෙනු ලැබේ.
3 වන වගන්තිය :
එවැනි ඉඩමක් මත විමර්ශන කටයුතු පැවැත්වීමේ දී සිදුවන යම් හානියක් / පාඩුවක් සඳහා වන්දි ගෙවනු ලැබේ.
4 වන වගන්තිය :
අමාත්‍යවරයාගේ අවසාන තීරණයෙන් පසුව, ඉඩම් පිළිබඳව අයිතිකරැවන්ට ඒ සඳහා විරැද්ධවීමේ අයිතියට ඉඩ දෙමින් සියළුම අයිතිකරැවන්ට එකී ඉඩම අත්පත් කරගැනීමට අදහස් කිරීම පිළිබඳව දැන්වීම් කරනු ලැබේ.
5 වන වගන්තිය :
4 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරනු ලබන විරෝදතා සැලකිල්ලට ගැනීමෙන් පසුව වුව ද, ඉඩම අත්පත් කර ගැනීමේ කටයුතු දිගටම කරගෙන යාමට අමාත්‍යවරයා අදහස් කරන්නේ නම් ඒ බවට 5 වන වගන්තිය යටතේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශනයක් නිකුත් කරනු ලැබේ.
6 වන වගන්තිය :
6 වන වගන්තිය යටතේ සර්වේ ජනරාල් විසින් ඉඩමේ සැලැස්මක් සකස් කරනු ලැබේ.
7 වන වගන්තිය :
7 වන වගන්තිය යටතේ, ඉඩමට අදාලව ඇති අයිතීන්, හිමිකම් සහ සම්බන්ධතා ද, ඉල්ලනු ලබන වන්දි ප්‍රමාණ සහ වන්දි පිළිබඳ විස්තර ද නිශ්චිත දිනයට පෙර දන්වන ලෙස ඉල්ලමින් ගැසට් පත්‍රයේ දැන්වීමක් ප්‍රසිද්ධ කරනු ලැබේ.
9 වන වගන්තිය :
ඉදිරිපත් කර ඇති ඉල්ලීම ද, හිමිකමට අදාළව ඉදිරිපත් කර තිබෙන ආරවුල් ද, පිළිබඳ තීරණය කිරීමේ අරමුණින් අත්පත්කරගැනීමේ නිලධාරියා විසින් 9 වන වගන්තිය යටතේ, ඉල්ලීම් ද වෙළඳපොල අගය ද සහ අනිකුත් අදාළ කාරණා ද සම්බන්ධයෙන් පරීක්ෂණයන් පවත්වනු ලැබේ.
10 වන වගන්තිය :
10 වන පනතේ 10 වන වගන්තිය යටතේ අත්පත්කිරීමේ නිලධාරියාට පහත සඳහන් දේ නිශ්චය කිරීමට සිදුවේ. හිමිකම වන්දි තවද, හිමිකම පිළිබඳ කවර හෝ ආරවුල් අධිකරණයට යොමු කරනු ලැබේ.
17 වන වගන්තිය :
17 වන වගන්තිය යටතේ අත්පත්කරගැනීමේ නිලධාරියා විසින් පහත සඳහන් දේ බලපැවැත්වෙන පරිදි තීරණය කරනු ලැබේ.
(අ) වන්දි වලට හිමිකම් ලැබිය යුතු තැනැත්තන්
(ආ) අත්පත් කරගනු ලබන දේපළ වලට ඇති සම්බන්ධ තැනැත්තන්ගේ ස්වභාවය
(ඇ) වන්දි ලබාදිය යුතු ඉල්ලීම් සංඛ්‍යාව
(ඈ) වන්දි ප්‍රමාණය (ඉ) වන්දි බෙදන්නේ නම් කෙසේද යන වග කෙසේ වුවද ප්‍රදානය කරනු ලබන වන්දි ප්‍රමාණය ඒ තැනැත්තා ඉල්ලුම් කොට ඇති වන්දි ප්‍රමාණය නොඉක්මිය යුතු බව වැදගත් වේ.
38 වන වගන්තිය :
17 වන වගන්තිය යටතේ ප්‍රදානයන් කළ පසු කවර හෝ අවස්ථාවක අධ්‍යක්ෂක අමාත්‍යවරයා හට ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයන් මගින් යම් ඉඩමක් හෝ පරවශතාවක් සතු කරගැනීමට 38 වන වගන්තිය යටතේ හැකිවේ.
38 වන වගන්තිය (අ) :
යම් හදිසි කටයුත්තක් මත 2 හෝ 4 වන වගන්තිය යටතේ දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමෙන් පසු කවර හෝ අවස්ථාවක, 38 (අ) වගන්තිය යටතේ දැන්වීමක් පළ කිරීමෙන් අනතුරැව ඉඩමේ සන්තකය වහා ලබාගැනීමට අමාත්‍යවරයාට හැකියාව තිබේ.
44 වන වගන්තිය :
අත්පත් කරගන්නා ලද දේපළක හෝ පරවශතා පළාත් පාලන ආයතනයට හෝ වෙනත් යම් ආණ්ඩුවේ ආයතනයන් වෙත පැවරීම.
45 (1) වගන්තිය :
''වෙළඳපොළ අගය'' අර්ථකතනය කිරීම. 7 වන වගන්තියේ සඳහන් ප්‍රසිද්ධ කිරීමේ දිනයේදී, වෙන්වූ ඒකකයන් වශයෙන් යම් විකුණුම්කරැවෙකු විසින් පවතින වෙළඳපොළ විකුණුම් හෝ ඒ ඉඩම සඳහා ලැබිය හැකි අගය ලෙස අර්ථ නිරෑපිතය
45 (2) වගන්තිය :
පරවශතාවයක වෙළඳපොළ අගය යනු
(අ) නව පරවශතාවන් නිර්මාණය කිරීමට යන්නේ නම් එසේ කිරීමේදී යාබද පේළියෙහි Servient Tenement හි වෙළඳපොල අගය අඩුවේනම් එසේ අඩුවූ අගය.
(ආ) අත්පත් කරගනු ලබන්නේ පවතින පරවශතාවය නම්, එකී පරවශතාවය නොමැති විටක ප්‍රබල පේළියෙහි වෙළඳපොල අගය අඩුවන්නේ යම් ප්‍රමාණයකින් ද ඒ ප්‍රමාණය
46 වන වගන්තිය :
වන්දි ඇස්තමේන්තු කිරීම යම් ඉඩමක් හෝ පරවශතාවයක් සඳහා දෙනු ලබන වන්දි ප්‍රමාණය වන්නේ එම ඉඩමේ හෝ පරවශතාවයේ වෙළඳපොළ අගයයි. තවද,
- එම ඉඩම ඒ අනිකුත් කොටස් වලින් වෙන් කිරිම හේතුවෙන් යම් හානියක් / පාඩුවක් ඉඩමට සිදුවේනම් ඒ සඳහා වන්දි
- එම ඉඩම අත්පත් කරගැනීම යාබද ඉඩමට හෝ ඇති දේපළට හානිකර අයුරින් බලපාන අවස්ථාවක ඒ නිසා ඇතිවන හානිය හෝ පාඩුව සඳහා වන්දි ඉහත i හා ii වෙළඳපොළ අගයෙන් සියයට 20 ක් නොඉක්මවිය යුතුය.
- යම් ව්‍යාපාරයක් නැතිවීම නිසා සිදුවනු ලබන පාඩුව සඳහා වන්දි ඒ වන්දි මුදල, 7 වන වගන්තිය යටතේ වූ ප්‍රසිද්ධ කිරීමේ දිනට පෙරාතුව වූ අවුරැදු 3 ක කාලයක් තුල, එකී ව්‍යාපාරයේ ගිණුම් පොත් පෙන්නුම් කරන්නා වූ වාර්ෂික දළ ලාභයෙන් තුන් ගුණයක් නොඉක්මිය යුතුය.
- ඉඩම අත්පත් කරගනු ලබන්නා වූ හේතුවෙන් අත්‍යාවශ්‍ය වූ නිවාස මාරැකිරීමක් කරණකොට දරන්නට සිදුවූ යුක්ති සහගත වියදම්
47 වන වගන්තිය:
අඩු කිරීම්: ඉඩම් අත්පත් කරගැනීමේ හේතුව නිසා අදාළ ඉඩමේ අනිකුත් කොටස් වල වෙළඳ පොළ අගය ඉහල යාමට ඉඩකඩ තිබෙන විටක, එම ප්‍රමාණය (අතිරේක අගය) වන්දි මුදලින් අඩු කළයුතුය. අඩු කරනු ලබන මුදල් ප්‍රමාණය වෙළඳ පොළ අගයෙන් සියයට 20 නොඉක්මවිය යුතුය.
48 වන වගන්තිය :
සැලකිල්ලට නොගත යුතු කාරණා
- ඉඩම හෝ පරවශ්‍යතාව අත්පත් කිරීමෙහිලා ඇති හදිසි බව
- තම ඉඩමේ සම්බන්ධතාවයෙන් ඈත්වීමට අදාළ තැනැත්තාට ඇති අකමැත්ත හෝ පරවශයතාව අත්පත් කරගැනීම පිළිබඳ අකමැත්ත.
- නඩු පවරනු ලැබීමට යටත් වූ පුද්ගලයෙකුට වූ හානියක් / පාඩුවක්
- වන්දි මුදල් ප්‍රධානය කිරීමෙන් පසු ඇතිවූ හානියක් / පාඩුවක්
- පනත යටතේ අත්කිරීමෙන් පසුව වෙළඳපොළ අගය වැඩිවීම.
- 4 වන වගන්තිය යටතේ වූ දැන්වීමෙන් පසු ඉඩමට කරන ලද වැඩිදියුණු කිරීම්
විශේෂ කාර්යයන් සඳහා දේපළ අනිවාර්යයෙන් අත්පත් කරගැනීමට ඉඩ සලස්සන්නා වූ හෝ, වෙළඳපොළ අගය මත වන්දි තීරණය කිරීමට එරෙහිව මැදිහත්වී, වන්දි ගෙවීම මත ව්‍යවස්ථාවන්ට ඇතුලට දේපළ අනිවාර්යයෙන් අත්පත් කරගැනීමේදී වෙළඳපොළ අගය නිශ්චය කිරීමේ දී සැලකිල්ලට ගතයුතු වන සීමා කිරීම්, කොන්දේසි සහ අවස්ථා පනවන ලද පසුව පැනවූ ව්‍යවස්ථාපිත නීති පහත දැක්වේ.
- 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනත
- 1979 අංක 17 දරන ජාතික නිවාස සංවර්ධන අධිකාරී පනත
- 1978 අංක 4 දරන මහ කොළඹ අතිරේක කොමිසමේ නීතිය
- 1946 නරග හා ග්‍රාම නිර්මාණ ආඥා පනත
- 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය
- 1972 අංක 26 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් පනත
- 1968 අංක 15 දරන කොළඹ දිස්ත්‍රික්ක (පහත්බිම්) ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල පනත
- 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත සහ 1980 අංක 55 සහ 2002 අංක 26 දරන එකී පනතේ සංශෝධන
- 1972 අංක 5 දරන සමූපකාර සමිති නීතිය
- 1973 අංක 11 දරන නිවාස දේපළ උපරිමය නීතිය
- 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනත
- වෙරළ සංරක්ෂණ පනත
- 1979 අංක 58 දරන ගොවිජන සේවා පනත
- 1956 අකං 45 දරන මාර්ග හා මංමාවත් පනත හා 1973 අංක 37 දරන නීතිය
- 1979 අකං 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරී පනත
- 1958 අංක 11 දරන වලවේ ඉඩම් පනත
|