තක්සේරු සේවා

දේපල තක්සේරු කිරීම

දේපළ කළමනාකරණය හා තක්සේරුකරණය සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇතුළුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන සේවාවන් ප්‍රධාන වශයෙන් පහත සඳහන් අයුරින් වර්ගීකරණය කළ හැකිය.

 

(අ) ඉඩම් අත්කරගැනීමේ පනත යටතේ පුද්ගලික දේපළ පොදු කටයුතු සඳහා වූ අනිවාර්ය අත්කර ගැනීම් වලදී, එම පනත යටතේ ගෙවිය යුතු වන්දි සඳහා තක්සේරු වාර්තා පිළියෙළ කිරීම.

තත්ත්ව වාර්තා සකස් කිරීම

ඉඩම් අත්කරගැනීමේ පනතේ 38 (අ) වගන්තිය යටතේ හදිසි සංවර්ධන කාර්ය කටයුතු උදෙසා අත්කර ගනු ලබන ඉඩම් සඳහා තත්ත්ව වාර්තා පිළියෙළ කිරීම.

 

තක්සේරු දෙපාර්තමේන්තුව, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සුවිශේෂී ආකාරයේ දැවැන්ත ව්‍යාපෘති වෙනුවෙන් මහ පරිමාණ තක්සේරු කිරීම් ඉටුකර දීම මගින් සුවිශාල මට්ටමේ පරිපූර්ණ වෘත්තීය තක්සේරු හා දේපළ කළමනාකරණ සේවයක් සැපයීමෙහි නියැලී සිටි.

ඇස්තමේන්තු සකස් කිරීම

ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ යථා කාලයේදී කෙරෙන දේපළ අත්කරගැනීම් සඳහා වන්දිමුදල් ප්‍රතිපාදනයන් වෙන්කර ගැනීම උදෙසා දේපළ ඇස්තමේන්තු තක්සේරු පිළියෙළ කිරීම.

නිශ්චල හා චංචල දේපල තක්සේරු කිරීම

පුද්ගලික ගිවිසුම් මත දේපළ මිලදී ගැනීම සහ සන්තකය බැහැර කිරීම, ගිණුම් කටයුතු මෙන්ම බදු කාර්යයන් උදෙසා සහ වෙනත් විවිධ කාර්යයන් සඳහා චංචල හා නිශ්චල දේපළ තක්සේරු කිරීම.

 

අල්ලස් පනත සහ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත වැනි ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යටතේ බලය ලබා දී ඇති තක්සේරු කිරීම් සිදු කරන ලෙස ප්‍රධාන තක්සේරුකරු හට නියම වූ විට අදාළ දේපළ තක්සේරු කිරීම.

 

ආපදා කළමනාකරණ තත්ත්ව කාර්යයන් යටතේ වන්දි තක්සේරු කිරීම.

කුලී තක්සේරු

රජයේ හා රාජ්‍ය ආයතනවල දේපළ කුලියට දීම සහ පුද්ගලික දේපළ රජයට සහ රාජ්‍ය අනුබද්ධ ආයතනවල පරිහරණය හා වාසය සඳහා අවශ්‍ය වු විට, ඒ සඳහා කුලී තක්සේරු සපයනු ලැබේ.

 

Rental Valuation of Government Quarters – Under the provisions of Sec 5.6 and 7.2 of Chapter XIX of Establishment Code, The department fixes Economic Rents as concessions to occupiers, who are government servants, and Penal Rents

වරිපනම් බදු සඳහා තක්සේරු කිරීම් සහ නැවත ඇගයීම්

කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි දේපළ හැර දිවයිනේ වරිපනම් බදු අය කෙරෙන සියලුම පළාත් පාලන ආයතනයන්ට අයත් දේපළ, ප්‍රාදේශීය වරිපනම් බදු අයකිරීමේ කාර්යය උදෙසා තක්සේරු කරනු ලබන අතර, අතෘප්තිමත් පුද්ගලයින් විසින් වරිපනම් තක්සේරු වලට එරෙහිව ඉදිරිපත් කෙරෙන විරෝධතා පිළිබඳ නිශ්චය කිරීමේ දී වෘත්තීය සහය දැක්වීම මෙම දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබේ.

 

කොළඹ මහ නගර සභා සීමාව තුළ පිහිටි කිරීටය සතු දේපළවල වාර්ෂික වටිනාකම් ප්‍රධාන තක්සේරුකරුගේ අනුමැතිය සහිතව කොළඹ මහ නගර සභාව විසින් තක්සේරු කරනු ලැබේ.

නීති අධිකරණවලට සහාය වීම

වන්දි මුදල් හා තක්සේරු ආරවුල් විභාග කර විසඳුම් ලබා දෙන අධිකරණවලට හා විවිධ වන්දි විනිශ්චය සභාවලට විශේෂඥ සාක්ෂ්‍ය සැපයීම මගින් සහය වන අතර දෙපාර්තමේන්තු නිලධාරීන්, ප්‍රධාන තක්සේරුකරු නියෝජනය කරමින් ගෙවල් කුලී පනත යටතේ ස්ථාපිත ගෙවල් කුලී මණ්ඩලවල (කොළඹ මහ නගරසභා සීමා බල ප්‍රදේශය තුළ හැර) රැස්වීම්වලට නිල බලය ලත් සාමජිකයන් වශයෙන් සහභාගි වේ.

උපදේශන සේවා

විශේෂයෙන් ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය වැනි ආයතන වෙත වත්කම් තක්සේරුකරණය හා නිශ්චල දේපළ කළමනාකරණ කටයුතු පිළිබඳ උපදේශක සේවාවන් සැපයීම හා එම අංශයන්හි වෘත්තීය නිපුණතාවය වැඩිදියුණු කිරීම උදෙසා අවශ්‍ය කටයුතු සැලසීම.

 

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ගිණුම්කරණ කාර්යයන් සඳහා වත්කම් තක්සේරු කිරීම.

පොදු ව්‍යවසායයන් තක්සේරු කිරීම

මහ භාණ්ඩාගාරයේ ඉල්ලීම මත, රාජ්‍ය ව්‍යවසායන් සඳහා ව්‍යාපාර තක්සේරු කටයුතු ද සිදුකරනු ලැබේ.